Friday, July 5, 2013

ගන්න ඇරයුම මෙයින් පිලි කවියෙන්ම සඳැසට සකි මගේ..!





හා හා පුරා කියල සඳැස් සරණියට ගොඩ වදින අපේ සියලු හිතවතුන් ආදරයෙන් වගේම ගෞරවයෙන් පිලිගන්නවා. කාලයක් තිස්සේ හිතාගෙන හිටිය දෙයක් මේ විදියට ක්‍රියාවට නංවලා ඒක ඔබ හමුවේ කලඑළි දක්වන්න ලැබීම ගැන මේ මොහෙතේ මා ලබන සතුට අනන්තයි, අප්‍රමාණයි... :) ඒ සතුට ලබාගන්න වචනෙකින් හරි, කොමෙන්ටුවකින් හරි මට සහය දීපු මාව ධෛර්‍යමත් කරපු ඔබ හැමෝටම පිං..! 

මගේ ජීවිතේ පලවෙනි වතාවට මාව බ්ලොග් ලියන්නෙක් බවට පත් කරන්නෙ 'ගීයකමතකපොත'.. ගීයකමතකපොතෙන් ඇරඹෙන මගේ බ්ලොග් කෙරුවාවේ දෙවෙනි අදියර විදියට තමයි 'සඳැස් සරණිය' එළිදැක්වෙන්නෙ.. සඳැස් සරණිය මූලික වශයෙන් එළි දැක්වෙන්නෙ සඳැස උදෙසාමයි.. ඉතින් මේ සඳැස් සරණියේදි අපේ සඳැස් නිර්මාණ වගේම සඳැස ගැන අපේ අත්දැකීම් ඇසුරෙන් ලියවුනු ලිපි සහ සඳැස් ගැන කියෙවෙන ඕනෑම ලිපියක් පලකරන්න මම බලාපොරොත්තු වෙනවා..

නිසඳෙස් උදෙසා වෙන් වෙච්ච බ්ලොග් අඩවි බොහෝමයි.. ඒත් සඳැසට අපේ පරම්පරාවේ උදවියගෙ දායකත්වය වගේම උනන්දුවත් අඩුයි කියල තමයි මට හිතෙන්නෙ.. ඉතින් අපි මේ විදියට අත්පොත් තියන්නෙ සාපේක්ෂව දුර්ලභයි කියල හිතෙන ඒ කර්තව්‍යට.. පෞද්ගලිකව මගේ කල්පනාව නම් නිසඳෙසට වඩා සඳැස අපිට වටිනවාය කියන එකයි.. මොකද සිංහල අපිට පාරම්පරිකව උරුමයක් තියෙන්නෙ සඳැසෙ මිසක් නිසඳසේ නෙමෙයි.. සිංහල ජන ගීය ඊට කදිම නිදසුනක්.. හැබයි එහෙමයි කියල අපි නිසඳෙස් කාව්‍ය පිටු දකිනවත් නෙමෙයි.. :)

කොටින්ම සඳැසට මූලිකත්වය දුන්නත්., මේ බ්ලොග් අඩවිය සඳැස්., නිසඳැස්, විරිඳු., බයිලා සහ කපිරිඤ්ඤා ආදී නිර්මාණ වලට වගේම ඒ ගැන ලියවුනු සහ ඒ ඒ ක්ශේත්‍ර වල දැවන්තයින් ගැන ලියවුනු ඕනෑම ලිපියකටත් ඉඩ ප්‍රස්තාව ලබා දෙනවා කිසිඳු ආකාරයක අවතක්සේරුවකින්, අහිතකින්, කහටකින් තොරවම :) ඉතින් ලියන්න ඕන කාරණා ගැන මෙච්චර දැනුවත් කරන්නෙ මේ බ්ලොග් අඩවියට ලිපි සම්පාදනය කරන්න පාඨක ඔබටත් හැකි නිසා..! ඉහත සඳහන් කරපු මොනයම් ආකරයකට හරි වචන වලට නගපු ඔබේ සිතුවිලි වලට මේ සඳැස් සරණිය විවෘතයි.

ඔබට කරන්න තියෙන්න ඔබේ නිර්මාණය ඔබට අවශ්‍යය විදියට නිමාවත් ( සුදුසු පසුතල සේයා රූප එක් කිරීම ) සමගම සකස් කරලා 'laleen.blog.draft@blogger.com' කියන ලිපිනයට එවන එක විතරයි.. යම් විදියකින් නිමාව සකස් කිරීමට කාලය මිඩංඟු කිරීම අපහසු නම් අමු අමුවෙන්ම වුනත් කමක් නැහැ නිර්මාණය එවන්න..නිමාව සුදුසු විදියකට අපි එකතු කරන්නම්.. ඒ විදියට එවන නිර්මාණ පැය 48ක් ඇතුලත සඳැස් සරණියේ පලවෙනවාය කියන එකට මම සහතික වෙනවා.

මුල්ම ලිපියෙ අවසානයට පෙර තවත් එක වැදගත් කාරණාවක් කියන්න හිතුවා... ඒ තමයි ලිපි පලවෙන භාෂාව සහ රචනා ශෛලිය... ගීයකමතකපොත පටන් ගන්න කලින් මම යම් තාක් දුරකට දැනට පලවෙන සිංහල බ්ලොග් අඩවි සම්බන්ධයෙන් පොඩි විපරමක් කලා... එත් ඒවගෙ පාවිච්චි වෙන භාෂාව ගැන නම් එතරම් පැහැදීමක් ඇති වුනේ නැහැ... සාමන්‍ය ව්‍යවහාරයේ තියෙන භාෂාව කිසිඳු වියරණ රීතියකට අනුගත නොවී ඉදිරිපත් කරපු අවස්ථා බොහෝමයි..සමහර වෙලාවට ශිෂ්ටසම්පන්න බවකින් සහ සභ්‍යත්වයකින් තොරවම..!

එ වගේම ඉතාම අල්ප වුනත් සම්පූර්ණයෙන් ලියන භාෂාවෙන්ම ලියවුනු බ්ලොග් අඩවිත් තියෙනවා. හැබැයි ඒවට එක් වෙන පිරිස අඩුයි.. ඒ කාරණාව පහදගන්න යද්දි මට මතක් වෙන්නෙ එක අඩවියක තිබ්බ මේ වගෙ කතාවක්... රූපවාහිනි නිවේදකයෙක්ට වඩා ගුවන් විදුලි නිවේදකයෙකුත්., ඊට වඩා පුවත්පත් කලාවේදියෙකුත්., ඊටත් වඩා බ්ලොග් ලියන්නෙකුත් පහල තත්වයක ඉන්නවාය කියන එක.. ඔය ධූරාවලියේ පහලම තැනට බ්ලොග් ලියන්නා වැටෙන්නෙ ඔහු විසින් භාවිතා කරන භාෂාව නිසාමයි.. ගොඩක් වෙලාවට බ්ලොග් ලියන්නෙක් ඒ වගෙ 'මචන්' භාෂාවකින් පාඨකයා අමතන්නෙ., ඉඳල හිටල ලිපිය මැද්දට කුණුහරුපයක් දෙකක් ඔබන්නෙ පාඨකයා ආකර්ෂණය කරගන්න..ඔවුන්ව රඳවගන්න.. හැබැයි මට නම් හිතෙන්නෙ ඒක හරිම කුණු රසයක්.. හරියට නිකන් කිරි ටොපි දෙන්න පුලුවන් කම තියෙද්දි පොල් ටොපි දෙනව වගෙ වැඩක් ඒක.. හොඳ ලිපියක් කිරි ටොපි වෙද්දි, 'මචන්' භාශාවෙන් ලියවෙන ලිපියක් පොල් ටොපිත්, ඊටත් එහා ගියපු කුණුහරුප ලිපියක් පොල් කුඩුත් වෙනවා..!

හැබැයි අවාසනාවක තරම කොච්චරද කියනව නම් අද සමාජෙ වැඩි දෙනා හොයන්නෙ පොල් කුඩු.. ලියන්නාටත් කියවන්නාටත් මෙලෝ රසක් නොදෙන, දැනුමක් නොදෙන, හුදු ආතල් පමනක් සපයන ලිපි.. කිරි ටොපි වල රස විඳින්න තරම් ඔවුන්ගෙ රසාංකුර තීව්‍ර නැහැ... හැබැයි නියම රසය විඳින්න පුලුවන් පිරිසක් අදටත් සමාජයේ ඉන්නවා...ඒ ප්‍රමාණය අල්ප වෙන්න පුලුවන්, ඒත් ඉන්නවා.. ඒ කොටසෙනුත් අන්තර්ජාලයට පිවිසෙන්නෙ ඊටත් වඩා අල්පවූ පිරිසක්... අන්න ඒ පිරිස තමයි අපේ ඉලක්කය... අපේ භාෂාවෙන් කිව්වොත් 'රහ දන්න' මිනිස්සු හෙවත් රසකාමියො.. :)


මේක ගැන තවත් කාරණා ටිකක් සහ හොඳ උදාහරණයක් කියන්න තිබුනත්, එහෙම වුනොත් පලමු ලිපිය දිග වැඩි වෙන නිසාම මෙතනින් නවත්තනවා... සමාවෙන්න ඕන එකතරා විදියක දොස් මුරයකුත් එක්ක පලමු ලියමන අහවර කරන්න වුනාට.. :) ඉතින් ආදරණීය හිතවතුන්ට කියන්නේ එන්න සඳැසට දයාබරිතව කියල..! අපි මග බලාන ඉන්නවා හොඳ කිරි ටොපි කෑල්ලක රස බලන්න.. ගිහින් එන්නම්.. :)


ඇරයුම..!